Sunday, April 19, 2009

මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 12

භූරිදත්ත හිමියන්ගේ විමුක්තියෙන් පසු මෙලොව බිහි වුනු බුදුවරු උන්වහන්සේලාගේ පරිවාර රහතන් වහන්සේලා සමගින් භූරිදත්ත හිමි බැහැදැකීමට පැමිනි බවත් එක් එක් රාත්‍රියකට එක් බුදු වරයෙක් දෘශ්‍යමාන වූ බවත් උන්වහන්සේ පවසා ඇත..

ඒ රහතන් වහන්සේලා අතර ලාබාළ "සාමණේර" වරු කිහිප දෙනෙක්ද වූහ. ඒ චිත්තය ඉතාමත්ම පාරිශුද්ධ වූ හිමි වරුය. ඔවුන්ද රහතුන් ගනයටම වැටෙත්.

ඒ බුදුවරු භූරිදත්ත හිමියන්ට ප්‍රසංශා කිරීමට පැමිණ ඇත.
ඒ එක් තථාගතයන් වහන්සේ නමක් භූරිදත්ත හිමියන්ට මෙසේ වදාල සේක.

"මම තථාගතයන් වහන්සේ වම්හ. ඔබ සංසාරය නම් වූ මේ නිමක් නොමැති බන්ධනාගාරයෙන් සදහටම නිදහස් වීම ගැන මගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස පැමිණියෙමි. මේ සිපිරිගෙය ඉතා විශාලය, පහසුවෙන් බිඳ හෙලිය නොහැකිය. එය මන මුලාකරවන, මනස වරදට පොලඹවන නොයෙකුත් දේවල් වලින් ගහණය. ලොව ජීවත්වන්නෝ අතරින් මේ දුක් කන්දරාවෙන් නිදහස් වීමට වෙහෙස ගන්නෝ ඉතාමත් විරලය. ඔවුන් ජීවත්වන් ලෝකයේ රෝගයට පිලියම් ඇති නමුත් ඒ පිලියම් ගැනීමට ඔවුන් මැලි වෙති. පිලියම් බොහෝසෙයින් ඇත. නමුත් ඔවුන් ඒ ඖෂධ ගැනීම පිලිකෙව් කරති. බුද්ධ ධර්මය වනාහී ඉතා වටිනා ඖෂධයකි. සසර සැරිසරණ සත්වයෝ ඉතා පීඩාකාරී වූ කෙලෙස් නම් වූ රෝගයන්ගෙන් සීමාරහිත ලෙස දුක් විඳින්නාහ. ධර්මය නම් වූ ඖෂධයෙන් මේ රෝග නිෂ්ඨාවටම සුව කලහැක. සුව නොකල හොත් කායික හා මානසික වශයෙන් නානා විධ ආත්මභාවයන්හි දුක් විඳ සැරිසරනු ඇත. ධර්මය මේ ලෝ තලයේ ඇති වුවත් ඒ ධරමය නොපිලිපදින්නේ නම් එහි ඇති සුව දායක ගුණ කෙසේ නම් ලබන්නේද? බුද්ධ ධර්මය ඒ ධර්මයේ ස්වාභාවික අන්දමටම සදා පවතින්නේය. සසර සැරිසරන සත්වයෝ, ඉපිදී, මියැදී, චක්‍රාකාරයෙන් දුකම විඳිති. ඔවුන්ට ගැලවීමක් නැත. ධර්මානුකූලව ජීවිතය සකසා ගැනීමෙන් හැර වෙන පිලියමක් මෙයට නැත. කොපමණ බුදුවරු ලොව පහල වුවත්, ඒ බුද්ධ ධර්මය කොපමණ ගැඹුරු වුවත්, නියම කරන ලද ඖෂධය නොගන්නේ නම් කිසිම පිලියමක්ද නැත.
සියලුම තථාගතයන් වහන්සේලා දේශනා කරන ලද ධර්මය එකමය. එහි වෙනසක් නොමැත. ඕනෑම හදවතක ඇති කෙලෙස් ශුද්ධ කිරීමේ හැකියාවක් ධර්මයට ඇත. ධර්මයත්, ක්ලේශයනුත් ප්‍රඥාවෙන් විමසා සටන් කිරීමේදී විමසිලිමත් විය යුතුය. . කෙලෙසුන්ට ඉඩදෙයි නම් කෙලෙසුන්ම ජය ගනී. ඔවුන්ට ධර්මය කාලය විනාශ කිරීමක් සේ පෙනීමට පුලුවන. මේ ලෝකය විශාල තෙල් කටාරමක් වැනිය. එය කෙලෙස් නමැති උෂ්ණයෙන් පැසි පැසී පවතී. මෙයින් ගැලවීමට නොහැක.

තථාගතයන් වහන්සේලා සාමාන්‍ය අන්දමට දෘශ්‍යමාන වූ කල භූරිදත්ත හිමියන්ට ඇතිවූයේ විශාල කුතුහලයකි.

කිසිම ශේෂයක් නොමැතිව, ආනුපාදිසේස නිවනට සැපත් වූ තථාගතයන් වහන්සේලා හා මහ රහතන් වහන්සේලා යලි දෘශ්‍යමාන වුයේ කෙසේද? යනු භූරිදත්ත හිමියන්ට විසඳාගත නොහැකි වූ ප්‍රශ්නයකි.

මේ පැනය සිතට නැගෙනවාත් සමගම තථාගතයන් වහන්සේ මෙසේ කරුණු පැහැදිලි කල සේක. (පිට 174 – 175 The Biography of Acharya Mun Second Edition Lungta Website)

"අනුපාදිසේස නිවන අවබෝධ කර ගත් බුදුවරු සහ රහතන් වහන්සේලා තවමත් සාමාන්‍ය මිනිස් සිරුරක් ඇති, නමුත් හදවත ඉතා පිරිසිදු රහතන් වහන්සේ කෙනෙක් සමග හමුවක් අවශ්‍ය වූ විට ඒ පිරිනිවි උත්තමයින්ට සාමාන්‍ය මිනිස් වෙසින් පෙනී සිටිය හැක. මනුශ්‍ය සිරුරක් ඇති ඔබ වැනියන්ට අපි මේ අන්දමට ස්වාභවිකව දිස් නොවන්නේ නම්, හඳුනාගැනීම අපහසු වනු ඇත. එසේම, හමුවිය යුතු රහතන් වහන්සේලා සියල්ලෝම පිරිනිවී නම් එවන් දෙයක් කිසිසේත් අවශ්‍ය නොවේ. ඒ අවස්ථාවල ක්‍රියාකාරී වන්නේ වෙනත් ධර්මයකි. සියලුම බුදුවරු අතීතයත් අනාගතයත් දන්නා සේක. නිමිති මාර්ගයෙන් ඒ උත්තමයින්ට අවශ්‍ය තැනට සිත යොමු කිරීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් ලොව පහල වී ඇති බුදු කෙනෙකුට පෙර ලොව පහලව සිටි බුදු කෙනෙක් ගැන දැන ගැනීමට අවශ්‍ය වූ විට උන්වහන්සේ ඒ අතීතයේ විසූ බුදු හිමියන්ගේ නිමිත්ත මගින් කරුණු ගලපා සොයා ගනියි. පරිනිර්වාණයට පත්වූ 'චිත්ත' දෙකක හමුවක් අවශ්‍යවූ විට එය සිදු වන්නේ ඉතාම වෙනස් අන්දමකටය. එය මිනිස් චිත්තයකට අදෘශ්‍යමානය.
පරිනිර්වානයට පිවිසිනු චිත්ත දෙකක් අතර සබැඳියාවක් පැවතිය යුතු නම් එහි ඇත්තේ "ඥාණාත්මක දැනුම" පමණි. (essential knowing quality of pure mind).

(නිවණ අසංඛත, කිසිම දෙයකට යටත් නොවූ තත්වයක් බව මේ පොතේම විශේෂ සටහන් වල ලියැවී ඇත. එවන් නිවණක් අවබෝධ කරගත් උතුමන් මෙලොව හා කිසිම සබැඳියාවක් නැතිබව පැවසීම, අසංඛත වන නිවණ සංඛත කිරීමක් හා සමාන බව මෙහි සඳහන් වේ) කෙසේ වෙතත්, විමුක්තිය, නිවණ, සහ එහි ඇති නියම අරුත, වචනවලින් හෝ කිසිම භාෂාවකින් විස්තර කල නොහැක. එය අසීමිතය.

(භූරිදත්ත හිමියන්ගේ පිරිනිවීමෙන් පසු, උන්වහන්සේගේ භෂ්මාවශේෂ දීප්තිමත් මැණික් කැට මෙන් වර්ණවත් වී ඇත. එහි ඡායාරූපයක් මේ පොතේ ඇතුලත් කර ඇත. එවැනි උත්තමයෙක් කරන ලද ප්‍රකාශයක් සත්‍ය වශයෙන් මම පිලි ගතිමි.)

මෙතෙක් වේලා භූරිදත්ත හිමි හා සාකච්ඡා කලේ බුදු හිමියන් පමනකි. පරිවාර රහතන් වහන්සේලා නිශ්ශබ්දව වැඩ හුන්හ. 'සාමණේර" ස්වාමීන් වහන්සේලා පවා අති පූජනීය ලෙසටත් විශාරද ලෙසටත් වැඩ සිටියහ. සමහර සාමණේර ස්වාමීන් වහන්සේලා වයස 10ක් පමණ තරම් වූහ.
ඔබට බුදුන්, දහම්, සඟුන් යන ත්‍රිවිධ රත්නය කෙරෙහි කිසියම් සැකයක් ඇත්දැයිද යනුවෙන් තථාගත්යන් වහන්සේ විචාලහ. නැත ස්වාමීනි, යයි භූරිදත්ත හිමි පිලිතුරු දුන්හ. එසේ ප්‍රශ්න කලේ ඔබට සැකයක් නැති බව මා හොඳට දන්නා නිසාය යනුවෙන් තථාගතයන් වහන්සේ පිලිතුරු දුන්හ. බුදු සමයයෙහි භාවනා ක්‍රම ගැන ව්මැසූ භූරිදත්ත හිමිට ඒ පිලිබඳව විස්තර සහිත නිරූපණයක්ද දර්ශණය විය.... බුදු හිමි හෝ ශ්‍රාවක රහතන් වහන්සේ නමක් සමාධි ගතව වැඩ හිඳින ආකාරයත්, සක්මන් භාවනා කරන විට ධර්මයට ගරුකල යුතු ආකාරයත් පැහැදිලිව නිරූපණය කල සේක.

උන්වහන්සේගේ දේශනය අවසානයේ, බුදු හිමි ඇතුලු රහතන් වහන්සේලා නිමේශයකින් අදෘශ්‍යමාන වූ සේක.

Sunday, April 12, 2009

මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 11

භූරිදත්ත හිමි සිය අත්දැකීම් සිය සිසුන්ට පහදා දෙන් කල්හි, ඒ සිසුන් නොසෙල්වී විශ්මයජනක ලෙස භූරිදත්ත හිමියන්ට කන් දුන්හ. නිවණට දොර විවෘත කොට එබී බලන්නැයි සිය සිසුන්ට පැවසුවාක් මෙන් ඔවුන් මින් පෙර කිසිම අන්දමක නොසිතූ විරූ අත්දැකීමක් අත්වින්දහ. ඒ අවස්ථාවේදී භූරිදත්ත හිමි තමා අනාගාමී ඵලයට සම්ප්‍රාප්තව බොහෝ කල ගත වුවද, ඉන් ඔබ්බට පිවිසීම සිය සිසුන් නිසා අතපසු වූ බව පැවසූ සේක. චියෑං මායි ප්‍රදේශයේ වනගත පරිසරය සිය දියුණුවට මහත් රුකුලක් වූ බව උන්වහන්සේ පවසා ඇත. ශාරීරික වශයෙන් උන්වහන්සේ ඉතා යහපත් තත්වයක පසුවිය. මානසික වශයෙන් සිය 'චිත්තය' මනා සේ හසුරුවා ගෙන රශ්මි විහිදෙන හිරු මඬළ සේ බබලන්නට විය. ක්ලේශයන් හා ධර්මයත් අතර සිදුවුනු අභ්‍යන්තර සටන දඩයම් කරන සුනඛයන්ට උන්වහන්සේ උපමා කල සේක. දඩයම් කරන සුනඛයින් සිය ගොදුර මුල්ලකට කොට සිය ශක්තිමත් හකු පාඩා වලින් තීරු තීරු ඉරා ගිල දමන්නාක් මෙන් කෙලෙස් විනාශ කිරීමට උන්වහන්සේට හැකිවිය. 'චිත්තයද', මහා සති-මහා ප්‍රඥා වශයෙන් ඉතාමත් සූදානම් වී පැවතුනි.
චින්තනය, නොහොත් චිත්තයේ ක්‍රියා කාරිත්වය විමැසීමට භාජන කල විට, උන්වහන්සේට පෙනී ගියේ රූප ස්ක්න්ධය ප්‍රථමයෙන්ම ප්‍රඥාව වර්ධනය වීමත් සමගම චිත්තයට බලපාන්නේ නැති බව දර්ශනය වීමයි. නමුත් අනෙක් ස්කන්ධ හතර, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ආදී නාම ස්කන්ධ ඉතා ප්‍රවේශමෙන් විචාරාත්මක ලෙස කරුණු ගලපා සොයා බැලිය යුතු බව භූරිදත්ත හිමි සඳහන් කරයි.. සිද්ධාන්ත මත ගැබ්වූ දැනුමත්, තමාගේ ප්‍රඥාව මෙහෙයවා ලබා ගන්නා අත්දැකීමත් අහස හා පොලොව මෙන් පරස්පර බව භූරිදත්ත හිමියෝ පවසති. සමහර ධර්ම සාකච්ඡා වලදී මේ ගැටලුව මතු වන බව උන්වහන්සේ පෙන්වා දෙයි. මේ මාන්නක්කාර ගති සමහර සිසුන් අතර පවතින බව උන්වහන්සේ පවසා ඇත. මතභේද පවා ඇති වන්නේ එවන් අහංකාර සිසුන් ඇති විටය . බුදුන් වහන්සේ සිය අවධානයත්, ප්‍රඥාවත් යොමු කොට අර්හත් ඵලයට පත් වූ සේක. රහතන් වහන්සේලාද එසේමය. කෙලෙසුන් සමණය කිරීමට මේ දෙකම අවශ්‍යය. සිද්ධාන්ත පිලිගැනීමෙන් පමණක් අර්හත් ඵලයට සමවැදීමට කිසිසේක් නොහැක. බුදුන් වහන්සේ ප්‍රඥාව මෙහෙයවා විමැසූ විට පමණක් 'ඔබට සත්‍යය පෙනෙයි නම් පිළිගන්නයයි' ' (සන්දිට්ඨිකෝ)' වදාල සේක. භූරිදත්ත හිමි අර්හත් ඵලයට පිවිසීමට පෙර තමාට කාලය පිලිබඳව අමතක වූ බවත්, නින්ද පවා අමතක වූ බවත්, කෙලෙසුන් දමනය කිරීමට සියලුම වෙහෙස ගත් බවත් පවසයි.
ප්‍රඥාවත්, සතිපට්ඨානයත් කැටි කොට සිය සියලු වීර්යය යොදා සසරින් ජය ගැනීමට වෙහෙසන භූරුදත්ත හිමි සිය 'චිත්තය' ජවසම්පන්න අශ්වයෙක් හා සමාන වූ බව පවසා ඇත. තවද, සියලු ක්ලෙශයන් එක පහරින් විනාශ කල හැකි බවක්ද හැඟුනු බව පවසා ඇත.


ඒ තීරණාත්මක දවසේ, උන්වහන්සේ අභ්‍යන්තර හා බාහිර වශයෙන් සිතට හසුවන සියලුම සංසිද්ධි විමසා බැලූ සේක. සියලුම මිත්ථායවන් සුණුවිසුනු කල උන්වහන්සේ ප්‍රීතියෙන් උද්දාම විය. විශාල මත්ස්‍යයෙක් මහ සයුරෙහි නිදහසේ පිහිනන්නාක් සේ පුබ්බේනිවාසානුස්සති ඥාණය මෙහෙයවා සිය අතීතයට එබී බැලූ සේක. තමාට වැරදුණු අඳුරු තැන් සිහි කොට යලිත් ඒ වරදම නොකිරීමට තරයේ ඉටා ගත් සේක.. උන්වහන්සේගේ හදවත වේගයෙන් ස්ඵන්දනය වන්නට වූයේ විස්තර කල නොහැකි ඉතා දීප්තිමත් ආලෝකයක් තුලට ඇතුලු වූ පසුය. (මේ පොත සම්පාදනය කල තෙරුන් වහන්සේ, භූරිදත්ත හිමියන් දුන් විස්තරය සම්පූර්ණ වශයෙන් ඒ අන්දමටම රචනය කිරීමට නොහැකි වීම ගැන මෙහිදී පාඨකයාගෙන් සමාව අයැද සිටී. පිට 155) හිර බැස යන යාමයේ භූරිදත්ත හිමි සක්මන් භාවනාවෙහි නිරත වූහ. උන්වහන්සේ පටිච්චසමුප්පාදය කෙරෙහි සිත යොමු කොට එකිනෙක අවස්ථා විමර්ශනය කරන්නට වූහ. "අවිජ්ජා පච්චයා සංඛාරා" යනාදී වශයෙන් පටන් ගෙන ප්‍රඥාව මෙහෙයවා විමැසන කල්හි, ඉපැදුනු කුතුහලය විස්තර කල නොහැකි තරම් විය. සත්වයා සසර සැරිසරන්නේ මේ පටිච්ච සමුප්පාදය හරියට නොදන්නා නිසා නොවේදැයි මෙනෙහි කල සේක. රාත්‍රී නවය පමණ වන විට උන්වහන්සේ හිඳගෙන භාවනා කල සේක. එතෙක් වේලා 'අවිද්‍යාව' ගැන මෙනෙහි කල උන්වහන්සේ පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙනුත් ප්‍රතිලෝම වශයෙනුත් එක් එක් අවස්ථා ගැන විමැසූ සේක. අලුයම තුන පමණ වෙන තෙක් නොකඩවා භාවනා කල උන්වහන්සේ අවසානයේ 'සතුරා' දුටු සේක. ඒ වෙනෙකෙක් නොව 'අවිද්‍යාවම' විය. කල්ප ගනනක් මුලුල්ලේ 'උපත-විපත' වශයෙන් සසර සැරිසැරුවේත් මේ සතුරා,- 'අවිද්‍යාවම' නිසාය. ඒ ස්වර්ණමය මොහොත ලඟා විය. උන්වහන්සේ 'අවිද්‍යාව' යලි නොනැගිටින සේ විනාශ කර දැමීය.
ලොවට තවත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේ නමක් බිහිවිය. දේව සමූහයා උන්වහන්සේට ගරු කිරීමට පැමිණියහ. මුලු ලොවම සසල වන බවක් උන්වහන්සේට දැනුනි. ඒ අසල ගම්මාන වල සිටි මනුශ්‍යයෝ මේ කිසිවක් ගැන දැන නොසිටියහ. ඔවුන් පුරුදු පරිද්දෙන් සිය ලෞකික දෛනික දේවල් ගැන යෙදී සිටියහ. ඒ විශ්මයජනක මොහොත පසුවූ පසු, ඉතිරි වූයේ ඉතාමත්ම පාරිශුද්ධ වූ විසුද්ධිධර්මය පමණකි. ඒ දහම භූරිදත්ත හිමිගේ චිත්තයත් ශරීරයත් හාත්පසම වෙලාගත්තේය. එහිදී ඇති වූ විශ්මයත් ප්‍රීති සුඛයත් විස්තර කල නොහැකි බව උන්වහන්සේ පැවසීය. ඒ රාත්‍රියේ ඉතිරිව තිබූ කාලය තුල උන්වහන්සේ බුදුරජානන් වහන්සේගේ පරෝපකාරය මෙනෙහි කලේ කෘතඥපූර්වකය. මේ අතිඋත්තම ගුරුතුමා සිය ධර්මයේ කිසිම තැනක පරස්පර විරෝධී දෙයක් පවසා නොමැති බවත්, ඒදහම අති පාරිශුද්ධ බවත් මෙනෙහි කලේ බුදුහිමි කෙරෙහි පහල වුනු අචල භක්තියෙනි. වරෙක තමා පහදා ගත් ධර්මය ඉතා ගැඹුරු බවත් සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කල නොහැකි බවත් උන්වහන්සේට සිතුනි. ඒ සමගම බුදු හිමි අනුගමණය කල මග ඔස්සේ තමා අන් මනුශ්‍යයින්ට පිහිට විය යුතු බවත් වැටහුනි. ධර්මය අන් මිනිසුන්ට උගන්වන්නේ ඒ සත්වයින්ට පිහිට වී මේ සසරෙන් එතර කරවීම උදෙසාය. කරුණා පෙරදැරිව බුදුන්වහන්සේ සැතැපුම් ගනන් දෙපයින්ම ඇවිද දහම් දෙසූ බව සිහි විය.දහමෙන් නැහැවුන හදවතක ඇත්තේ සතුට පමණකි. දුකක් එහි නොමැත. රහතුන් වහන්සේලාගේ ස්කන්ධයන්ද, අනෙක් මනුශ්‍යයින්ගේ ස්කන්ධ හා සමානය. නමුත් කෙලෙස් වලින් තොරය. නිවණ අවබෝධයෙන් පසු ස්කන්ධයන්ගේ වෙනසක් දක්නට නොමැත. සිරුර බිඳී යන විට චිත්තය "යථාදීපෝ චනිබ්බුතෝ" බවට පත්වෙන්නේය. ඒ පිරිසිදු චිත්තයත්, ධර්මයත් එකමය. ස්කන්ධයන් නැසී ගියද, පිරිසිදු ධර්මය අඩංගු චිත්තය එතැනින් වෙන්වී සදාකාලික වෙනස් ම්ගක් ගනියි. බුදුන් වහන්සේ "ධර්මය දකින්නේ යමෙක්ද, හේ මා දකියි..." යනුවෙන් ප්‍රකාශ කලේ ඒ නිසාය.
දිව්‍ය සමූහයා ඉතා ප්‍රීතියෙන් භූරිදත්ත හිමි හමුවට පැමිණියද, උන්වහන්සේ ඔවුනට පසුව පැමිනෙනෙ ලෙසට ඉල්ලා සිටියේය. භූර්‍රිදත්ත හිමියන්ගේ නිවන් අවබෝධයෙන් පසු මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිවරා ගෙන භුරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමින ඇත. (ඒ පිලිබඳ විස්තර මේ සටහන දිග වැඩි නිසා ඊලඟ කොටසේ- පිට 172 – The Most Exalted Appreciation – The Biography of Acharya Mun) මේ පොත සම්පාදනය කල ආචාර්ය මහාබූව ඥාණසම්පන්නෝ හිමියන් තවමත් තායිලන්තයේ බාන් ටාඩ් සංඝාරාමයේ වැඩවසති. යම්කිසි දෙයක් තව දුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නම් උන්වහන්සේට විද්‍යුත් ලිපියක් යොමු කරන්න. . webluangta@gmail.com

Friday, April 10, 2009

මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 10

මේ මාතෘකාව යටතේ මීට පෙර සටහන් නවයක් මා පලකොට ඇත. එක්තරා සන්ධි සථානයක ඒ සටහන් පෙල නතර කිරීමට සිදුවිය. මා කියැ වූ කරුණු සැක හැර නියත වශයෙන් දැන ගැනීමට අවශ්‍ය නිසා එය තාවකාලිකව නතර කලෙමි. පසුගිය මාසය තුලදී මාගිය දීර්ඝ චාරිකාවේදී ඒ කරුණු සත්‍ය බවට මගේම හෘදය සාක්ෂියට එකඟව මම පිළිගතිමි. මා නතර කල තැන් සිට මම යලිත් මේ සටහන් පෙල ආරම්භ කරන්නෙමි.

තායිලන්තයේ වැඩ වසන ධුත්තංග කම්මත්ථාන භික්ෂූන් වහන්සේ නමක් වන ආචාර්ය මහා බූව ඥාණසම්පන්නෝ හිමියන් විසින් සම්පාදිත, උන්වහන්සේගේ ආචාර්ය භූරිදත්ත හිමියන්ගේ චරිතාවදනයෙහි පරිවර්තනයක් වන "මාර්ග, ඵල සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ" යන මාතෘකාව යටතේ කොටස් වශයෙන් සටහන් කිහිපයක් කොටස් වශයෙන් පලකල බව ඔබට මතක ඇත. මේ පොත නොමිලයේ පහත සඳහන් වෙබ් අඩවියෙන් බාගත හැක. වැඩි විස්තර සඳහා මේ වෙබ් අඩවියට පිවිසෙන ලෙසට මම ඔබෙන් ඉල්ලා සිටිමි.
http://www.luangta.com/English/Index.html
ඥාණසම්පන්නෝ හිමි, තවමත් ජීවතුන් අතර වැඩ වසති. දැනට වයස 94කි. උන්වහන්සේගේ දායකයින් උන්වහන්සේ වෙනුවෙන් බොහෝ විට පැන වලට පිලිතුරු සපයනු ලැබේ. සමහර විට උන්වහන්සේම විද්‍යුත් ලිපි වලට පිලිතුරු සපයයි. මේ සටහනෙහි අඩංගු කරුණු ගැන යම් කිසි කෙනෙකුට කිසිම සැකයක් හෝ අවිශ්වාසයක් ඇත්නම් පළමුවෙන් "The Biography of Acharya Mun” යන පොතේ Appendix one කියවන්න. තව දුරටත් කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය නම් ඒ වෙබ් අඩවියට විද්‍යුත් ලිපිය යොමු කරන්න. පොතේ දෙවැන් සංස්කරණය පිටු 500කට අධික වුවද, ප්‍රථම සංස්කරණයට වඩා කුඩාය. හැකිනම් මුලුපොතම ලබා ගෙන කියවන්න. බුදුදහම දෙස, වඩා ආශාවකින් හා ලැදියාවකින් බැලීමට ඔබට හැකි වනු ඇත.
ධුත්තංග සහ කම්මත්තාන යන වචන යොදා ඇත්තේ ඒ භික්ෂූන්ගේ පුහුනු වීම් ආදී දෛනික දෙවල් ආශිතවය. උන්වහන්සේලාට නියත වාසස්ථානයක් නැත. ජීවත් වන්නේ වන සතුන් මැද ගල්ගුහා, රුක්සෙවණ, ආදී ස්ථානවලය. පාංශුකූල සිවුරුම පාවිච්චි කරති. බුදුන් වහන්සේ දේශනා කල පරිදි සිවුරු අඳින්නේ විලි වසා ගැනීමටත්, උශ්ණයෙන් සහ සීතලෙන්ද, මැසි මදුරුවන්ගෙන්ද ආරක්ෂා වීම්ටත් යන සිල් පද දිවි හිමියෙන් රක්ෂා කරති. මෙවන් ශීලයක් රකින මේ භික්ෂූන් වහන්සේලා ආධ්‍යාත්මික අතින් ඉතා දියුණු තත්වයකට පැමිණීම පුදුමයක් නොවේ.
භූරිදත්ත හිමි ඉතාමත් දයාවෙන් සිය ගෝලයින්ට ධර්මය ඉගැන්වූ සේක. එහි ප්‍රතිඵල ඒ වන විටද දක්නට ඇත. උන්වහන්සේට, උන්වහන්සේ කෙරෙහි දයාව ඉපදවීමට කාලය පැමිණ ඇති බව වැටහුනු සේක. වනසතුන් මැද වනගතව වාසය කිරීමෙන් අනාගත භවයක් පිළිබඳ සිතුවිලි ඇති නොවන බව උන්වහන්සේ පලපුරුද්දෙන් දුටු සේක. සියලුම බැඳීම් වලින් වෙන්ව වනගත වාසයෙන් මේ දුක් කන්දරාවෙන් නිදහස් විය හැකි බව උන්වහන්සේ දැන සිටියහ. මෙතෙක් කල අන්‍යයන් උදෙසා තිබූ කරුණාව මොහොතකට වියැලී ගියේය. උන්වහන්සේගේ කරුණාව තමන් වහන්සේ කෙරෙහි යොමු විය. "මා තථාගතයන් වහන්සේගේ අප්‍රමාද ශ්‍රාවකයෙක් වෙමි. උට්ඨාන වීර්යයෙන් යුතුව මා ධර්මයෙහි හැසිරී ඇත. මා දැන් සම්ප්‍රාප්ත වී ඇත්තේ මේ ඝෝර සසරෙන් එතරව, නිවණ අවබෝධ කර ගැනීමටයි. බුදුන් වහන්සේ ප්‍රථමයෙන් සත්‍යය අවබෝධකොට ඉන් පසුව මහ රහතන් වහන්සේලාට මග පෙන් වූ සේක. ඒ රහතන් වහන්සේලා ඉන් පසුව තවත් ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලාට මග පෙන්වා ඇත. මම තවම එතරම් උතුම් තත්වයකට පැමිණ නොමැත. මගේ ආධ්‍යාත්මික දියුණුව ගැන මා උනන්දු විය යුතුය. දහම් අවබෝධයෙහි මා තව කල් ගත් කලයුතුය. එවිට මටද ඒ අවස්ථාව ලඟා වෙනු ඇත."... දැනට මා ගෙන යන්නේ ක්ලේශයන් හා මාර්ග ඵල අතර සටනකි. එයින් ධර්මය දිනිය යුතුය. 'චිත්තය'ට නිදහස ලබා ගැනීමට ධර්මයම දිනිය යුතුය. චිත්තයට ධර්මය අවබෝධ නොවී කෙලෙස් රිංගා ගතහොත් යලිත් කෙලවරක් නොමැති උපත-විපත චක්‍රය ආරම්භ වෙයි. මගේ උට්ඨාන වීර්යයත්, ප්‍රඥාවත් යොමුකොට මේ කෙලෙස් මා විසින් පැරද විය යුතුමය. මේ කෙලෙස් පරදවා දැමීමෙට කාලය එලඹ ඇත. මේ සටනින් මා මිය ගියත්, එය එසේම වේවා. මට වෙන විකල්පයක් නොමැත................"
භූරිදත්ත හිමියෝ සිය සිත් මෙහෙයවූයේ මේ අන්දමට, නොසෙල්වෙන අන්දමටය. සක්මන් කරද්දීත්, හිඳගෙන සිටිද්දීත්, සයනාගතව සිටිද්දීත්, උන්වහන්සේගේ නොපසුබස්නා උත්සාහයත්, වීර්යයත් මෙසේ විය. උන්වහන්සේගේ අවධානයත්, ප්‍රඥාවත් එකිනෙක හා එක්වී චිත්තයට හසුවූ සෑම දෙයක්ම නිරීක්ෂනය කිරීමට පුලුවන් විය..

Sunday, April 5, 2009

බුදු රදුන් තවම වැඩ වසති.......

අපේ රටේ නොයෙක් දෙසින් නොයෙක් දේවල් අපට අසන්නට ලැබේ. එයින් බොහෝ දේවල් අපරාධ හා සම්බන්ධය. මින් දශක හතරකට පෙර තිබූ ශාන්ත පරිසරය අද නැත. මේ සංසදයේ පවා නොයෙක් මාතෘකා යටතේ නොයෙක් දේවල් ලියැවෙයි. අපි යන්නේ කොහේද? අපේ අරමුණ කුමක්ද? බොහෝ අවස්ථාවල අපට අරමුණක් නැත. මී රැලක් තරඟයකට දුවන්නාක් මෙන් අපිද හැසිරෙන්නෙමු.

අපි ඉන්ද්‍රියයන් පිනවීම සඳහා නොකරන දෙයක් නැත. නොයෙක් මාදිලියේ රූපවාහිනී, නොයෙක් අන්දමේ සිනමාවන්, දෙකන් පිනවීම සඳහා නොයෙක් අන්දමේ ශබ්ද, දිව පිනවීම සඳහා නොයෙක් අන්දමේ ආහාර වර්ග, කය පිනවීම සඳහා රාගාත්මක දර්ශන, අබිසරු ලියන්, මනැස පිනවීම සඳහා නොයෙකුත් විකාර, ආදී දේවල් වලින් මේ ලොව වියරු වැටී ඇත. මේ විනාශකාරී මුඛයෙන් ගැලවීමට තැත් කරන්නෝ විරලය. අපේ මුලු ජාතියම ගමන් කරන්නේ පිරිහීම දෙසටය.


මෙවන් ලොවක ඔනෑම කෙනෙකුට අතර මං වීමට ඉඩ ඇත. සිදුහත් කුමරු තනි වූයේද මෙවැනි රජ දහනකය. රම්‍ය සුරම්‍ය සුභ වශයෙන් හැඳින්වුනු සිදුහත් කුමරුගේ මාලිගාවල පිරිමි පුලුටකුදු නොවීය. සිදුහත් කුමරු කම් සැපයෙහි ගිල්වා තැබීමට ශුද්ධෝදන රජතුමා මහත් ආයාසයක් ගත්තේය. නමුත් ඒ සියල්ල අතහැර දමා සිදුහත් කුමරු ශ්‍රමණ ජීවිතය ප්‍රිය කලේය. අපි ඒ උතුම් ජීවිතය පාඩමකට නොගන්නේ ඇයිදැයි සිතා ගැනීම අපහසුය.


මාර්ග ඵල හා නිවන යනු ඉතිහාසගත සිදුවීම් පමණක් බව සැලකෙන සමයෙක, තායිලන්තයේ දුත්ථංග කම්මත්තාන බික්ෂූන් ගැන ලියැවුනු පොත් වල සඳහන් පරිදි තවමත් තායිලන්තයෙන් රහතන් වහන්සේලා බිහිවන බව දැනගැනීම සොම්නස උපදවන කරුනක් විය. එයින් එක් රහතන් වහන්සේ නමක් සිය අත් දැකීම් දීර්ඝ වශයෙන් සිය ගෝල නමකට පවසා ඇත. උන්වහන්සේ අර්හත් ඵලයට පිවිසුනු මාර්ගය පවා සවිස්තරව ග්‍රන්ථාරූඪ කර ඇත. අද ලෝකයේ හැටියට ඉතා වටිනා ග්‍රන්ථයක් වන මේ පොත, නොමිලයේ පහත සඳහන් අඩවියෙන් බා ගත හැක.
(
http://www.luangta.com/English/site/books.php)
මා කියවා තිබුනේ ප්‍රථම මුද්‍රණයයි. පසුව ශ්‍රී ලංකාවේ හා තායිලන්තයේ භික්ෂූන්ගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනි මුද්‍රණයක් පිටවිය. මේ දෙවැනි මුද්‍රණයේ (appendix one) අතිරේකයක් ඇත. ඒ උද්ඝෝෂකයින්ට පිලිතුරුය. පරිනිර්වාණයෙන් පසු බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ශුන්‍යත්වයට නොයන බවත්, උන්වහන්සේලා සිරුරක් නොමැතිව වැඩවසන බවත් ස්ථිර වශයෙන් පහදා දී ඇත. මේ උත්තමයින් දහමෙහි හැසිරෙන පින්වතුන්ට පිහිට වී සසරින් එතර වීමට පිහිට වන බව ස්ථිර වශයෙන් කිව හැක.



පසුගිය මාසය තුල මම චාරිකාවක යෙදුනෙමි. මට පිටරටකින් වැඩම කරන ලද එක්තරා උපාසිකාවක් හමුවිය. ඒ උපාසිකා මැණියන්ගේ ඉල්ලීම පරිදි ඇයගේ වතගොත හෙලි කිරීමට නොහැක. ඉතා ස්වල්ප වශයෙන් යමක් කිව හැක. 1980 දශකයේ අග භාගයේ මිනීමරු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇයගේ සැමියා ඝාතනය කොට ඔහු පෙති ගසා දමා තිබෙනු ඇය දැක ඇත. ඉන් සසර කලකිරුණු ඇය විදේශ ගත විය. විදේශයක සිට බවුන් වඩන්නා වූ මේ තෙරණියෝ හමුවට දෙවි දේවතාවන් පැමිණෙති. ඔවුන් සිරිතක් වශයෙන් රාත්‍රී පෙරයමෙන් පසුව පැමිනෙන බව ඇය මට පැවසුවාය. මේ තෙරණියන්ගේ කුටියට ආලෝකධාරා පැමිනෙන බව බොහෝ දෙනෙක් දැක ඇත. රාත්‍රී දෙකට පමණ පතිත වූ නිල්වන් ධාරාවක් මමත් දුටුවෙමි. වරෙක ගෞතම බුදුහිමි ඇයට දම් දෙසීමට පැමිණි බව ඒ මෑණියෝ පවසා ඇත. අවම වශයෙන් ඒ මෑණියෝ සකෘදාගාමී ඵලයට සමවැදී ඇතිබව මගේ හැඟීමයි. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව තමා ලබා ඇති ඵල පිලිබඳව හෙලි නොකරන අය බහුලය. අපේ රටේ බුදුදහම ආධ්‍යාත්මිකව ගරා වැටී ඇත. අවුරුදු පන්සීයක බටහිර ආධිපත්‍යයෙන් පසු අපට මෙය සිදු වූ බව අපටම සිතාගත හැක. නමුත් අපි මේ ආගාධයෙන් ගොඩ ආ යුතුය. නැතිවී වී ගිය සංවරය නැවත නගා සිටු විය යුතුය. සෑම දෙනෙක්ම මේ පිලිබඳව සිත යොමු කල යුතුය. නැතහොත් අපි ගමන් කරන්නේ විනාශමුඛය කරාය.

Sunday, February 15, 2009

කරුණා දයා මෛත්‍රී උපේක්ෂා.....

ඒ 1999 නත්තල් දවසයි. මගේ මව හදිසියේ අසනීපව ඕක්ලන්ඩ් හි මිඩ්ල්මෝ රෝහලට ඇතුල් කල බව මගේ සහෝදරිය දන්වා එවීය. ඊට පහුවදා මම ඇය බැලීමට රෝහලට ගියෙමි. ඇයගේ තත්වය සතුටුදායක වූයේ නැත. අවුරුදු 72ක් වූ ඇයට හෘදයාබාදයක් වැලඳී තිබුණි. හෘදයවස්තුවේ ලේ නහරයක ලේ කැටි ගැසී ඒ නහරයෙන් ඔබ්බට හෘදයවස්තුව ක්‍රියා විරහිත වී තිබුණි. කැටි ගැසුනු ලේ දිය වීමට රෝහලෙන් ඖෂධ ශරීර ගත කල නමුත් එයින් පලක් නොවීය. දැන් මිනිස් කමේ සංකේත ක්‍රියාත්මක වීමට ආසන්නය. මගේ සොයුරියන් දෙදෙනෙක් රෝහල හරියට ක්‍රියා නොකල බවට කියවන්නට වූහ. ඔවුන් ඇඟිලි දිගු කිරීමට ආසන්නව සිටියහ. සිදුවී ඇති දේ හරියාකාරව සොයා බැලූවිට කාගේවත් වරදක් ඇතිබවක් නොපෙනෙයි. ඔවුන් ඇඟිලි දිගු කිරීමට පෙර මම ඇඟිල්ල ඔසවා නිශ්ශබ්දව වෙන ලෙස කියා සිටියෙමි. මම සියල්ල සොයා බැලූ බවත් කිසි කෙනෙක් අත වරදක් නැති බවත් අපේ අම්මාගේ අවසානය ලඟා වී ඇති බවත් බෞද්ධයින් හැටියට අපිට එය පිලිගැනීමට සිදුවී ඇති බවත් මම පැවසුවෙමි.

වයස 72ක් වුවද, පියා නැති අපට මැණියන්ගේ වියෝව දරා ගත නොහැකි විය. ඇය ජීවත් කල නොහැකි බව වෛද්‍ය මණ්ඩලය කියා සිටියි. අම්මාද ඇයට සිදුවන්නේ කුමක්දැයි අසන්නීය. ඒ වෙන විට අපේ පියා මිය ගොස් අවුරුදු 41ක් විය. අම්මාගේ අවසාන කාලය ඇය පින් දහම් කරමින් නිදහසේ ජීවත් වූ බව මම දනිමි. අවුරුදු දෙකකට පෙර ඇය දඹදිව වන්දනාවේ යාමට ආශාවක් දැක්වීය. හැකි පමණ සුව පහසුවට දඹදිව යාමට මම ඇයට ඉඩකඩ සලසා දුනිමි. මහාපරිනිර්වාන සූත්‍රයේ බුදුරදුන් ආනන්ද හිමිට වදාල දැය මම අම්මාට හැම විටම මතක් කර දුන්නෙමි.

"... ආනන්දය, තථාගතයන් වහන්සේ උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ ස්ථානය සහ පිරිනිවන් පෑ ස්ථානය, යන මේ සිවු වැදෑරුම් ස්ථානයන් යමෙක් සැදැහි සිතින් වන්දනා කරයිද, ඒ සිහියෙන්ම මේ කය බිඳී යයිද, ඒ අය දුගතියක නොඉපදෙනු ඇත......."

අම්මා දඹදිව ගොස් පැමිණ දිග ලියුමක් ලියා මට පින් අනුමෝදන් කරවීය. ඇයගේ ලියුම මම කියවූයේ මහත් ආශාවෙනි. මා මෙලොවට බිහිකල මගේ අම්මාට දඹදිව වන්දනාවේ යාමට ඉඩ සලසා දුන් හෙයින් මා තුල මහත් සොම්නසක් ඇතිවිය. දැන් අම්මාට ආයුබෝවන් කීමට සිදුව ඇත. ඇයට සත්‍යය වසන් කිරීමට මට කිසිම කැමැත්තක්ද නැත. මගේ සහෝදර සහෝදරියන්ගෙන් එක් අයෙක් හැරුනු විට අනෙක් දරුවන් අම්මා අවට සිටියහ. ඉතාමත් හෙමින්, පැහැදිලිව, අම්මා සුව කල නොහැකි බව මම පවුලේ වැඩිමලා හැටියට ඇයට පැවසුවෙමි. මගේ ජීවිතයේ මේවැනි අවස්ථා බොහෝ ගනනකට මම මුහුණ දී ඇත්තෙමි. නමුත් මගේම මැණියන්ට එය පැවසීම තරමක් අපහසු විය. පිරිසිදු ආගමික දිවියක් ගත කල අම්මා තමාගේ අවසානය ලඟ බව සාවදානව අසා සිටියාය. ඇය කිසිම කැලඹීමක් නොදැක්වූවාය. එතැන් සිට ඇය අවසන් හුස්ම හෙලන තෙක්ම ඇයගේ දරුවන් අඩු වශයෙන් එක්කෙනෙක් වත් ඇය ලඟ සිට ඇය කරන ලද පුණ්‍ය ක්‍රියා සිහිකර දීමට වග බලා ගත්හ.. විශේෂයෙන් අම්මාගේ දඹදිව වන්දනා ගමන ගැන සිහි කිරීමට මතක තබා ගත්තෙමු. නේරංජනා ගංගා තීරය අම්මාට හොඳට මතක තිබුණි. අම්මාට කිසිම වේදනාවක් දැනුනු බවක් පැවසුවේ නැත. 2000 වසරත් ලබා දින කිහිපයක් ගෙවී ගියේය. අපි බලාපොරොත්තු වූ පරිදි අම්මාගේ සිහිය කෙමෙන් කෙමෙන් බොඳ වී ගොස් ඇය අවසාන හුස්ම හෙලුවාය.

අම්මාගේ වියෝවත් සමගම මට ඉතා විශාල පාලුවක් දැනෙන්නට විය. මෙය මම බලාපොරොත්තු නොවූ දෙයකි. ශෝකය වාවා ගත නොහැකි තරම් දරුණු විය. ආගමික වතාවත් කිරීමට සංඝයා වහන්සේලා තුන් නමක් අපට ලැබුණි. එක නමක් ඉංග්‍රිසි ජාතික ස්වාමීන් වහන්සේ නමකි. ඒ ස්වාමීන් වහන්සේ වෙලිංටන් පන්සලේ වැඩවසති. තව නමක් ඕක්ලන්ඩ් තායි පන්සලෙන් වැඩියහ. උන්වහහන්සේ තායි ජාතිකයෙකි. අනෙක් නම ලාඕස් ජාතිකයෙකි. උන්වහන්සේ දුත්ථංග කම්මත්ථාන හික්ෂූන් වහන්සේ නමක් හැටියට මට හඳුන්වා දුන්නේය. ඒ වෙනතෙක් දුත්ථංග කම්මත්ථාන භික්ෂූන් වහන්සේලා ගැන මම අසා තිබුනේ නම වශයෙන් පමණි. ඒත් ඉතා ස්වල්ප වශයෙනි. මීකොං ගඟ ආශ්‍රිතව, තායිලන්තය, ලාඕස්, වියට්නාමය යන ප්‍රදේශවල වනගතව වෙසෙන සිල්වත් භික්ෂූන් වහන්සේලා හැටියට කම්මත්ථාන භික්ෂූන් වහන්සේලා මම දැන සිටියෙමි. එපමණකි. ආගමික වතාවත් වලින් පසු ස්වාමීන් වහන්සේලාට මම වැන්දෙමි. අවසාන වශයෙන් මම ලාඕස් ජාතික ස්වාමීන් වහන්සේට වැඳ, දනින් සිටියදීම උන්වහන්සේ ලඟ සිටගත්තෙමි. උන්වහන්සේ වැඳගෙන සිටි මගේ අත්දෙක උන්වහන්සේගේ දෑතින්ම අල්ලා ගත්තේය. මම උන්වහන්සේගේ දෙඇස දෙස බලා ගෙනම සිටියෙමි. මම කොපමණ වේලාවක් එසේ සිටියාදැයි මතක නැත. අඩු වශයෙන් විනාඩි දහයක් වත් සිටින්නට ඇත. ඉත සොවින් සිත් වේහනාවෙන් සිටි මගේ ශෝකය ක්‍රමයෙන් පහව ගොස් සැනසුමක් මතුවිය. මට මේ ස්වාමීන් වහන්සේ ලඟ දැනෙන්නේ පුදුම සැනසුමකි. උන්වහන්සේ අතහැර යාමට නොහැක. උන්වහන්සේ මැදිවිය ඉක්මවූ මහලුවියට පාතබා ඇති කෙනෙකි. උන්වහන්සේ මට වචනයක් වත් කථාකලේ නැත. ඒ උන්වහන්සේට ඉංග්‍රිසිත්, මට ලාඕස් භාෂාවත් බැරි නිසාය. උන්වහන්සේගේ මුවෙහි සිනා රැල්ලක්ද මතුවී ඇත. අවසානයේ උන්වහන්සේ මගේ හිසද අතගා මගේ දෙ අත් අත හැරියේය. මාතුල තිබූ ශෝකය සම්පූර්ණයෙන්ම පහව ගොසිනි. අම්මාගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙන ගියද, මා තුල තිබූ දරුණු ශෝකය දැන් නැත. දින දෙකකට පසු තායි පන්සලට මම ගියේ අර ලාඕස් ජාතික ස්වාමීන් වහන්සේ හමු වීමටය. ඒ ස්වාමීන් වහන්සේ ඊට පසුවදා යලිත් පන්සලෙන් පිටව ගොස් ඇත. උන්වහන්සේ ගැන අනෙක් ස්වාමීන් වහන්සේලා පවා නොදනිති. දුත්ථංග හිමි කෙනෙකුගේ වෙසින් පැමින මගේ ශෝකය තුනී කල ඒ උත්තමයා කවරෙක්දැයි මම අද පවා නොදනිමි.

Wednesday, February 11, 2009

දිය නෑම.................

කුරුලු දිය බඳුනක ස්නානය කරන මේ ගේ කුරුල්ලාගේ පින්තූර පහ එකම තත්පරයක් තුල ඡායාරූප ගතකරන ලදී. (In continuous firing mode- 5 fps)
ඡායාරූප දත්ත මෙසේය.
Lens 80 – 400 mm
ISO – 400
Shutter 1/200
F=13
Focal length 400 mm
Focal length (35) 600 mm
Date 10/02/09 1:51: pm (all five frames)
Processed Photoshop CS2

කාචය 1.2 Kg බැවින් තෙපා-ආධාරකයක් මත කැමරාව රැඳවීමට සිදුවිය.
Cable release used.

1


2

3


4


5

ඔබේ විවේචනාත්මක ප්‍රතිචාර අගය කරන්නෙමි.

Sunday, February 8, 2009

මරණය..... පිලිගැනීම සහ නොගැනීම

ජීවත්වන බොහෝ දෙනා මරණය ගැන කථා කරන්නේ ඉතාමත් කලාතුරකින්ය. ඒ ඉතා අප්‍රසන්න දුක්මුසු, බිය උපදවන මාතෘකාවක් බැවිනි. අපි ජීවත් වන්නේද නොමැරෙන්නවුන් ලෙසිනි. හෙට කලයුතු වැඩ, ඊලඟට කුමක් කලයුතුද යනාදී මිස හදිසියේ සුව කල නොහැකි ලෙඩක් හැදුනොත් යනුවෙන් අපි කල්පනා නොකරමු. ඒ අපේ සමාජයේ හැටිය. අපි මරණයෙන් ඈතට දුවන්නෙමු. එක අතකින් ඒ බටහිර සංස්කෘතියෙන් අපිට උරුම උනු රටාවකි. බටහිර ජනතාව මරණය ගැන කථා කිරීමට පවා බියක් දක්වති. රෝහලක මරණයක් සිදු වූ විට මෙයට සාක්ෂි දැකිය හැකිය. රෝගියා අවසන් හුස්ම හෙලීමට ආසන්න වූ විට ඔහු හෝ ඇය වෙන් කොට සමහර විට වෙන කාමරයකට පවා ගෙන යනු ලැබේ. මිය ගිය පසු මෘතශරීරාගාරයට මෘත ශරීරය ගෙන යනු ලැබේ. ඊට පසු රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙන්නෙකුට සේ මෘත ශරීරයට ඇඳුම් අන්දවති. එයින් අපි තැත්කරන්නේ මිය ගිය බව නොපිලිගැනීමක් නොවේද? කලකට පෙර ලංකාවේ ජනයා, මෘත දේහය ගෙදරට ගෙනැවිත් ජීවිතයේ අවිනිශ්චිත භාවය පිලිබිඹු වෙන ලෙස ඒ අබියස ශෝක වෙති. එයින් සිය ඥාතියාගේ වියෝව විඳ දරා ගැනීමට රුකුලක් වෙන බව පැහැදිලිය.

හදිසියේ මිය ගිය හොත් මිය ගිය තැනැත්තාට හෝ තැනැත්තියට එය ගැන එතරම් දෙයක් නොදැනෙනු ඇත. දැනට ඇති සාක්ෂි අනුව (මරණාසන්න අත් දැකීම්) මිය ගිය තැනැත්තා/තී වික්ෂිප්තව කුමක් සිදුවූයේදැයි නොදැන බොහෝ විට සිය මලසිරුර අසල, නෑදෑයින් අසල අදෘශ්‍යමානව ගැවසෙන බව සොයා ගෙන ඇත. මේ පිලිබඳව අපවත් වී වදාල බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේ දීර්ඝ වශයෙන් පවසා ඇත. අපි කවුරුත් දන්නා පරිදි මියයාමට නියමිත වයසක් හෝ කාල සීමාවක් නැත. බෞද්ධයින් කර්මානුකූලව උපදින බවත් මිය යන බවත් විශ්වාස කරති. විශ්වාසය කෙසේ වුවත්, එය එසේ වූ විට අපි ඉමහත් කම්පනයකට පත්වෙමු. යම්කිසි සුලු අසනීපයකට රෝහලකට ගොස් ඔබේ රෝගය පිලිකාවක්යැයි පවසා ජීවත් විය හැක්කේ මාස කිහිපයක් පමණක් බව වෛද්‍යවරයා පැවසුවොත් ඔබට කුමක් වෙයිද? මෙවන් දේවල් සාමාන්‍ය ජීවිතයේ සිදුවන සිද්ධීන්ය. ජීවිතයේ බලාපොරොත්තු නොවූ මොහොතක මිය යාමට සිදුවෙන බව කවුරුන් හෝ කිව්වොත් ජීවිතය පිලිබඳව ගොඩ නගාගත් ඒ සොඳුරු අනාගතය බිඳවැටෙනු ඇත. මේ තත්වයට මුහුන දෙන්නේත් එක් එක්කෙනා එක් එක් විදියටය. සමහරු තරුණ වයසේදීම පිලිකාවලින් මිය යති. සමහරු වෙනයම් රෝගයකට ගොදුරුව මිය යති.


බොහෝ දෙනෙක් තමාට එවැනි රෝගයක් නැති බව වසන් කිරීමට තැත් කරති. එවැනි ශෝකාත්මක පුවතක් දැනගත් වහාම ප්‍රථමයෙන් සිදුවන්නේ එයින් 'පලා යාමයි.'. එයින් අදහස් කරන්නේ සිය මනස පවසන පරිදි 'එය එසේ නොවෙයි' කියා නොයෙක් කරුණු ඉදිරිපත් කිරීමයි. මේ අවස්ථාව ඉතාමත් ශෝකජනක අවස්ථාවකි. මේ රෝගීන්ට ඉතාමත්ම කාරුණික විය යුතුය. ඔවුන් මිය යන බව සැබෑය. නමුත් මිය යන තෙක් ඔවුන් මනුශ්‍යයන් මෙන් හැකි තරම් සන්තොසින් ජීවත් විය යුතුය. පසුගිය අවුරුදු 33 තුල මම ලබා ඇති අත්දැකීම් බොහෝය. බෞද්ධයෙක් වන මා මේ රෝගීන් ඇසුරෙන් තවතවත් මිනිස්කමට ලංවුනෙමි.

එක් අවස්ථාවක වයස අවුරුදු හයක ලදැරියක් සිරුරේ උඩ කොටසේ ලේ පැහැති කුඩා ලප සමූහයක් මතුවීම නිසා වෛද්‍ය සායනයට සිය මව සමග පැමිණියාය. ඇය පරීක්ෂා කොට ඇයගේ රුධිර පරීක්ෂණයක් කල යුතු බවට නිගමනය විය. කුඩා ලදැරියක් වන ඇයගේ රුධිරය ලබාගැනීම පවා ඉතා දුශ්කර කරුණක් විය. එදාම හවස වෛද්‍ය පරීක්ෂණාගාරයෙන් මේ ලදැරිය වහාම රෝහලට ඇතුල් කරන ලෙස දන්වා පණිවුඩයක් ලැබුණි.

මට දැන ගන්නට ලැබුනේ මේ දැරියට ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන ලියුකීමියා රෝගයක් වැලඳී ඇති බවයි. වැඩි විස්තර මවට පැවසීමට මට ධෛර්යයක් නොවීය. "එපමණ හොඳ නැහැ, නමුත් රෝහලට යන්න...." පමණක් පවසා ඇය රෝහලට යැව්වෙමි. ඒ ලදැරියට සිදුවන්නේ කුමක්දැයි නොදැනුනත් ඇයගේ මව සම්පූර්ණයෙන්ම වෙනස් විය. රෝහලේදී ඇයගේ හැසිරීම අනෙක් රෝහල් සේවකයින්ට ආක්‍රමණශීලී විය. ඇයට සියල්ලෝම නුරුස්සන සුලු විය. රුධිර පරීක්ෂාවකට රුධිරය ගත්තත් ඇය සිය දුවනියට හිංසා කල බවට චෝදනා කලේය. මේ සිය එකම දුවනියට සුව කල නොහැකි රෝගයක් වැලඳී ඇති නිසා ඒ සඳහා මවගේ ප්‍රතික්‍රියාවය. සමහර රෝහල් සේවිකාවෝ ඇයට අනුකම්පාවක් නොදැක්වූහ. රෝහලෙන් ගෙදර එවූ මේ ලදැරියට නිතර නිතර ආපසු රෝහලට ඇතුලත් වීමට සිදුවිය. ඇයගේ මවට සිදුවූයේ ඇයගේ දුවණියගේ රෝගී ස්වභාවය පිලිගත නොහැකි වීමයි. ඇය ගෙදර ආ පසු නිතර නිතර ඇය බැලීමට ගියෙමි. ක්‍රමයෙන් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඇය සිදුවී ඇතිදෙය පිලිගත් බවක් පෙනුනි. රෝගය හඳුනාගෙන මාසයකට පසු ඒ ලදැරිය අවසන් හුස්ම හෙලීය.

තවත් අවුරුදු හැටක් පමණ වූ කාන්තාවක් පියයුරුවක ගැටයක් සමග පැමිණියාය. එය පිලිකාවක් බව හැඳිනගෙන දින දෙකක් ඇතුලත ශල්‍ය කර්මයකට භාජනය කරන ලදී. ශල්‍ය කර්මයෙන් මාසයක් ගතවූ තැන ඇයගේ දෑත් වල අස්වාභාවික චලන දක්නට ලැබුනි. ඒ පිලිකාව ඇයගේ මොලයට ගොස් ඇති බවට CT ස්කෑන් පරීක්ෂණය පෙන්වීය. වෛද්‍යවරු ඇයට වෙනත් පිලියමක් යෝජනා කලහ. මේ අවස්ථාවේදී මේ කාන්තාව මා හමුවීමට පැමිණියාය. මා හමුවට පැමිණි ඇය, ඇයගේ රෝගය පිලිබඳව සම්පූර්ණ සත්‍යය ඇයට පවසන ලෙස ඉල්ලා සිටියාය. ඇයගේ ඉල්ලීම පරිදි මම ඇයට සම්පූර්ණ විස්තරය හෙලිකර නිෂ්චිත පිලියමක් නැති බවත් සිදුවන්නේ ජීවිතය දික් ගැස්සීමක් පමණක් බවත් පැවසුවෙමි. ඊලඟට ඇය ඇසුවේ ඒ දික්ගැසෙන ජීවිතයේ වේදනාවක් ඇත්දැයි ඇසුවාය. එය එසේ විය හැකි බව කී විට එසේ නම් ඒ පිලියම අවශ්‍ය නැති බවත් ඇය මරණයට සූදානම් බවත් නොබියව පැවසුවාය. සුමාන දෙකකට පසු ඒ කාන්තාව අවසන් හුස්ම හෙලුවාය. ඒ කාන්තාව ඉතා ලැදි ක්‍රිස්තු භක්තිකාවක් වූවාය. අභීතව මරණයට මුහුන දුන් වෙනත් රෝගියෙක් ගැන මට කිව නොහැකි තරම්ය.

බලාපොරොත්තු නොවූ පරිද්දෙන් මිය යන රෝගීන් අතර එක් රෝගියෙක් ඔහුට වයස 70ක් පමණක් බවත් මිය යාමට තරම් වයසක් නැති බවත් පවසා ඇත. නමුත් ඒ අවස්ථාවේදී එය පැහැදිලි කර දීමට තරම් ඔහුගේ මනස ප්‍රබල නොවීය. මේ අතර තවත් සමහරු මිය යාමට පෙර දවස් ගනන් හුස්ම අදින්නෝද වෙති. ජීවත්ව සිටිද්දී ගත් කල ජීවිතයද, ඒ ජීවිතයේ පිරිසිදු බවද මියයන මොහොතට බලපාන් බව මගේ විශ්වාසයයි.